about 10 years ago by Manthri.lk - Research Team Team under in විශ්ලේෂණ

දකුණු ආසියාතික කලාපය තුළ රාජ්‍ය තන්ත‍්‍රයේ කාන්තාවන් ඉහළ පරිපාලන ධූර දැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ශී‍්‍ර ලංකාව ඉතා ප‍්‍රගතිශීලී රාජ්‍යයක් ලෙස ඉදිරියෙන් සිටී. ශී‍්‍ර ලංකාව ලොව ප‍්‍රථම කාන්තා අග‍්‍රාමාත්‍යවරිය බිහිකිරීම සම්බන්ධයෙන් ඉතා ආඩම්බරයෙන් කතාකරන අතරම විධායක ජනාධිපතිවරියක් ද අග‍්‍රවිනිශ්චයකාරවරියක්  හා නීතිපතිවරියක් ද රාජ්‍ය තන්ත‍්‍රය තුළ නිලතල හොබවා තිබේ. නමුත් පාර්ලිමේන්තුව දෙසට අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ කාන්තා නියෝජනය එතරම් සතුටුදායක මට්ටමක නොමැති බවයි.        

 ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව තුළ මන්තී‍්‍ර නියෝජනය 225 ක් පමණ වන අතර කාන්තා නියෝජනය මන්තී‍්‍රධුර 13 කට පමණ සීමා වී ඇත. (මෙය ප‍්‍රතිශතයක් ලෙස 5.8%  ක් වැනි ඉතා කුඩා අගයක් ගනී. * දකුණු ආසියාතික කලාපය හා සැසදීමේදී ශී‍්‍ර ලංකාව පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය සම්බන්ධයෙන්  ඉතා පසුගාමී ස්ථානයක ( එනම් පකිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව,මාලදිවයින හා භූතානය යන රටවලට පිටුපසින් * පසුවන අතර ලෝකයේ රටවල් 181 ක් අතරින් 131 වන ස්ථානයේ පසුවේ. 

ශී‍්‍ර ලංකාවේ පමුඛ පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණ වෙබ් අඩවිය ලෙස කටයුතු කරන මන්තී‍්‍ර.lk (www.Manthri.lk) වෙබ් අඩවිය * මගින් සිදු කරන ලද විශ්ලේෂණය මගින් දක්වන්නේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනයේ සැබෑ තත්ත්වය ඉතා දුර්වල මට්ටමක පවතින බවයි. මෙහිදී පාර්ලිමේන්තුව තුළ මන්තී‍්‍රවරුන්ගේ ඵලදායී දායකත්වය සමස්ත දායකත්වයෙන් 2.4% ක් වැනි ඉතා අඩු අගයක් ‍ (මෙම විශ්ලේෂණය සඳහා 2012 මැයි - 2013 අගෝස්තු යන මාස 16 ක කාල පරාසය යොදා ගන්නා ලදි. * ඒ අනුව පෙනී යන්නේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය අවතක්සේරුවකට භාජනය වී ඇතිබව පමණක් නොව ඔවුන් පාර්ලිමේන්තුව තුළ සිදු කරන ඵලදායී දායකත්වය පිරිමි මන්තී‍්‍රවරුන්ට සාපේක්ෂව ඉතා දුර්වල මට්ටමක පවතින බවයි.        

රූප සටහන 01 මගින් දක්වා ඇති දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරියන් ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරියන්ට වඩා ඉහළ ඵලදායී දායකත්වයක් පාර්ලිමේන්තුව තුළ ලබා දී ඇති බවයි. ( විපක්ෂය කාන්තා මන්තී‍්‍රවරියන් 05  දෙනෙකුගේ නියෝජනයෙන් ද, ආණ්ඩු පක්ෂය මන්තී‍්‍රවරියන් 08 දෙනෙකුගේ නියෝජනයෙන් ද සමන්විත වේ. * කෙසේ වුවද මන්තී‍්‍රවරුන්ගේ(පිරිමි) ඵලදායී දායකත්වය මන්තී‍්‍රවරියන්ගේ(කාන්තා) ඵලදායී දායකත්වයට සාපේක්ෂව ඉහළ අගයක් ගනී. එනම් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පිරිමි මන්තී‍්‍රවරුන්ගේ ඵලදායී දායකත්වය 60% ක් පමණ වන විට මන්තී‍්‍රවරියන්ගේ දායකත්වය 40% ක පමණ අගයක් ගන්නා බවයි. 

මෙවැනි අඩු ඵලදායී දායකත්වයක් වාර්තා වන්නේ ආණ්ඩු පක්ෂය තුළ ඇමතිවරියන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය ඇමතිවරියකගේද නියෝජනයක් පවතින වාතාවරණයක් තුළය. එනම් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යන අමාත්‍යධුර සහ ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයයි. 

සියලු මන්තී‍්‍රවරියන්ගේ ඵලදායී දායකත්වය පිළිබඳ සාමාන්‍ය අගයන් දෙස පමණක් අවධානය යොමු කිරීම මගින් පාර්ලිමේන්තුව තුළ මන්තී‍්‍රවරියන්ගේ සැබෑ දායකත්වය පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලබා ගැනීම අසීරුය. මෙයට හේතුව මන්තී‍්‍රවරියන්ගේ ඵලදායී දායකත්ව මටිටම් අතරද විශාල පරතරයක් පැවතීමයි.



රූප සටහන් 02 මගින් දක්වා ඇති ආකාරයට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන අංශ 02 තුළම ඵලදායී දායකත්වය තුළ මෙම විසමතාවය දැකගත හැකිය. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ඉහළම දායකත්වය ලබාදුන් මන්තී‍්‍රවරියන් දෙදෙනාගේ දායකත්වය පහළම දායකත්වය ලබාදුන් මන්තී‍්‍රවරියන්ගේ දායකත්වය මෙන් 6 ගුණයක පමණ ඉහළ අගයක් ගනී. එමෙන්ම ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ඵලදායී ලකුණු මටිටමෙහි සාමාන්‍ය මෙන් දෙගුණයක ලකුණු මට්ටමක් ඉහළම දායකත්වය ලබාදුන් මන්තී‍්‍රවරියන් දෙදෙනා විසින් ලබා දී ඇත. 



එනමුත් මෙම කරුණු මගින් ඉහළම ඵලදායී දායකත්වයක් සපයන ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්තී‍්‍රවරියන් දෙදෙනාගේ දායකත්වය පිළිබඳව සෑහීමකට පත්වීමට අපහසුය. එයට හේතුව පිරිමි මන්තී‍්‍රවරුන් සාමාන්‍ය ඵලදායී දායකත්වයට වඩා අඩු මට්ටමක ඉහළම ඵලදායී දායකත්වයක් ලබාදෙන මන්තී‍්‍රවරියන් දෙදෙනාගේ  දායකත්වය පැවතීමයි.  මෙයින් ගම්‍ය වන්නේ ඉතා සරළ සත්‍යයකි. එනමි පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්තී‍්‍රවරියන් ඔවුන්ගේ ඵලදායී දායකත්වය ඉහළදමා ගැනීමට කි‍්‍රයා කළයුතු බවයි.