about 8 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

 

 

අභිනව පාර්ලිමේන්තුවක පළමු කාර්යය වන්නේ නව කතානායකවරයෙකු පත් කර ගැනීමයි. මන්ත්‍රීවරයෙකු ලෙස පැමිණ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින්ගේ ඡන්දයෙන් එහි ප්‍රධානියා ලෙස මෙම ධූරයට පත්වන තැනැත්තාගේ මූලික වගකීම සම්ප්‍ර‍දායට අනුගත ව ධූරයේ කටයුතු වඩාත් ස්වාධීන සහ අපක්ෂපාතී ලෙස ඉටු කිරීමයි. බ්‍රිතාන්‍ය ඉතිහාසය තුළින් නැගී වර්තමානය දක්වා දිවෙන කතානායකවරයාගේ කතාව තුළ වන සුවිශේෂ තොරතුරු, ධූරයේ වගකීම් හා මෙරට අතීතයේ විත්ති විමසා බැලීම මෙම කෙටි ලිපියේ අරමුණයි.

යටගියාවෙන් තොරතුරු බිඳක්

කතානායක ධූරය නිශ්චිතවම  ඇරඹුණු බවට සැලකෙන්නේ 13 වන සියවසේ බ්‍රිතාන්‍යයේදී ය. එවක ඔහුගේ කාර්යය වූයේ පාර්ලිමේන්තු තොරතුරු රජුට වාර්තා කිරීමයි. අසතුටුදායී පුවත් ගෙනයාම දඬුවමට හේතු වූ අතර ක්‍රි.ව. 1394- 1535 අතර මේ හේතුවෙන් මරණ දණ්ඩනයට ලක් වූ කතානායකවරුන් ගණන හත් දෙනෙකි.

16 වන සියවසේ බ්‍රිතාන්‍ය රජු සහ පාර්ලිමේන්තුව අතර බල අරගලයේ ප්‍රතිපල‍යක් ලෙස කතානායක ධුරය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් වූ නමුත් රජුගේ සහ ආණ්ඩුවේ බලපෑම්වලින් මුළුමනින්ම මිදුණු තනතුරක් බවට පත්වූයේ නැත. මෙය ක්‍රි.ව. 1728 - 1761 අතර ධූරය දැරූ ආතර් ඔන්ස්ලෝ කතානායකවරයාගේ වකවානුව තුළ කැපීපෙනෙන වෙනසකට ලක් විය. කිරීටයට නිසි ගෞරවය දැක්වූ නමුත් ඔහු අවශ්‍ය තැන්වලදී රජය විවේචනය කරමින් ද, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සුරක්ෂිත කරමින් ද ශූර ලෙස කටයුතු කළ හෙයින් නොකඩවා පස් වතාවක් ධූරයේ රැඳී සිටි අතර රජුගේ ඉහළ ප්‍ර‍ශංසාවට ද ලක් විය. එසමයේ සිදු වුණු පරිවර්තනයන් හේතුවෙන් පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාවර වූ අතර 19 වන සියවසේ සිට අද දක්වාම කතානායකවරයාගෙන් අපේක්ෂා කරනුයේ ආයතනික ස්වාධීනත්වය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව තුළ අපක්ෂපාතීව කටයුතු කිරීමයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා

කතානායකවරයා නිල බලයෙන්ම මෙරට තුන්වන පුරවැසියා වන අතර පාර්ලිමේන්තු පනත් කෙටුම්පතකට නෛතික වලංගුතාවය හිමිවන්නේද ඔහු ඊට අත්සන් කළ පසු ය.

ඊට අමතරව පාර්ලිමේන්තු ස්වාධීනත්වය කෙරෙහි බෙහෙවින් බලපානු ලබන වගකීම් රාශියක් ඔහු විසින් උසුලනු ලබයි. න්‍යාය පුස්තකයට කරුණු ඇතුළත් කිරීම, විවාද සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදීම සහ කාලය වෙන් කිරීම, ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විනය ඇතුළු කටයුතු පවත්වා ගෙන යාම, අවශ්‍ය අවස්ථාවලදී සභාවට උපදෙස් දීම මෙන්ම මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීම මේ වගකීම් අතර පවතී. තවද ඔහු විවිධ ස්ථාවර කමිටුවල සභාපතිත්වය උසුලන අතර පාර්ලිමේන්තු භූමියේ සහ ගොඩනැගිලිවල ආරක්ෂකයා ද වේ.

1948 නිදහස් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව පත් වූ අවස්ථාවේ සිට අද දක්වා කතානායකවරුන් විසි එක් දෙනෙකු පත්ව ඇති අතර ඉන් 3 දෙනෙකු පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් ද 18 දෙනෙකු ආණ්ඩු පක්ෂයෙන්ද පත් ව තිබේ. වසර හතකුත් මාස තුනක් පමණ සේවය කළ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා සහ දින විසි හතරක් සේවය කළ ටී.බී සුභසිංහ මහතා පිළිවෙලින් වැඩිම හා අඩුම ධූර කාලයන් වාර්තා කළ කතානායකවරුන් වන අතර ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් නියෝජනය කළ එකම කතානායකවරයා ස්ටැන්ලි තිලකරත්න මහතා ය.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කතානායකවරයාගේ භූමිකාව විවේචනයට බදුන් වූ අවස්ථා විරල ය. ආණ්ඩු පක්ෂය හෝ විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් ධූරයට පැමිණිය ද පැමිණ පිරිස එහි කටයුතු ස්වාධීනව ඉටු කොට ඇති බව අතීතය සාක්ෂි දරයි. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කතානායකවරයකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නට සූදානම් වූ බවට හෝ පුවතක් හමු නොවීම ඒ සපථ කරන තවත් සාධකයකි.

ඒ අනුව මුලින් හුදු සම්බන්ධීකාරකවරයෙකු ලෙස පමණක් ඇරඹි කතානායක ධූරය වර්තමානය වන විට පාර්ලිමේන්තු අදීනත්වයේ ජීවමාන නිරූපණයක් බවට පත්ව ඇති බව පෙනේ.