over 8 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

 

2015 ජනවාරි 08 වැනිදා පැවත්වුණු ජනාධිපතිවරණය නිමා වූයේ ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කරමිනි. ඔහුගේ ජනාධිපතිවරණ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශය අනුව ‘දින සියයක වැඩපිළිවෙලක්‘ ඉදිරිපත් කළ අතර, එය ක්‍රියාවට නැංවීම සැලසුම් කර තිබුණේ 2015 ජනවාරි 9 වැනිදා ජනාධිපතිවරයා දිවුරුම් දීමේ සිට, එතෙක් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට ප්‍රවිෂ්ඨ වීම දක්වා වූ කාල රාමුව සදහා ය. Manthri.lk වෙබ් අඩවිය නව ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ පොරොන්දු වල ක්‍රියාත්මකභාවය විමසනු වස් ‘මෛත්‍රී මීටරය‘ (http://www.manthri.lk/si/maithrimeter# ) නමැති විමසුම් ලේඛණය ක්‍රියාවට නැංවූ අතර, මෙම පසු විපරම සිදු කෙරෙන්නේ, 2016 ජනවාරි 8 වැනිදාට යෙදී තිබෙන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර සැමරුම නිමිත්තෙනි.

නව ජනාධිපතිවරයා බලයට පත්වීමේ සිට, එතෙක් පැවති පාර්ලිමේන්තුව විසුරුවාහැරීම දක්වා කාල සීමාව තුළ, ජනාධිපතිවරණයේ දී ලබා දී තිබූ පොරොන්දු වලින්, ඉටු කර තිබුණේ අඩකට ආසන්න ප්‍ර‍මාණයකි. ‘මෛත්‍රී මීටරය‘ මගින් ජනාධිපතිවරණයේ සියලුම පොරොන්දු විමර්ශනය කරන ලද නමුත්, මෙම ලිපියට පාදක වන්නේ, පැවති දේශපාලන -  සමාජ - ආර්ථික ක්‍ර‍මය පරිවර්තනීය වශයෙන් වෙනස් කිරීමට අදාළ වූ සුවිශේෂී  පොරොන්දු 17 ක් පමණි.

එම පොරොන්දු ඉටුවීමේ ප්‍ර‍ගතිය මැනීම, කාණ්ඩ 04ක වර්ගීකරණයක් යටතේ දක්වා ඇති අතර (ප්‍ර‍ගතියක් නැති, සුළු ප්‍ර‍ගතියක් ඇති, යහපත් ප්‍ර‍ගතියක් ඇති, සම්පූර්ණ කළ) එම සමස්ත වර්ගීකරණය මෙහි සදහන් ‘සටහනෙහි‘ සවිස්තරව දක්වා ඇත.

 

ප්‍ර‍ගතියක් නැති

සුළු ප්‍ර‍ගතියක් ඇති

යහපත් ප්‍ර‍ගතියක් ඇති

සම්පූර්ණ කළ

පාර්ලිමේන්තුව සදහා ස්ථාවර නියෝග සංශෝධනයක් ගෙන ඒම

කැබිනට් මණ්ඩලය 25 කට සීමා වන පරිද්දෙන් නව ඇමතිවරුන්/වරියන් පත් කිරීම

විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීමේ ක්‍රියාදාමයට මුල පුරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම

ව්‍යවස්ථා සභාව පත් කිරීම

මහජන නියෝජිතයින් සදහා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දීම

දූෂණ විමර්ශනය සදහා වූ විශේෂ කොමිසම් පත් කිරීම

 

ජීවන සහන දෙන ‘අතුරු අයවැය‘ සම්මත කිරීම

ජාතික විගණන පනත

නව මැතිවරණ ක්‍ර‍මයක් සකස් කිරීම

 

රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම

 

තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම - කැබිනට් අනුමැතිය ලැබී ඇත

 

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම

 

 

 

ජාතික ඖෂධ ප්‍ර‍තිපත්තිය ක්‍රියාවට නැංවීම

 

ඒ අනුව බලන විට, ව්‍යවස්ථා සභාව පත් කිරීම, ජීවන සහන දෙන ‘අතුරු අයවැය‘ සම්මත කිරීම, රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, ජාතික ඖෂධ ප්‍ර‍තිපත්තිය ක්‍රියාවට නැංවීම යනාදී පොරොන්දු ‘සම්පූර්ණ‘ වශයෙන් ඉටු කර ඇති බව පෙනේ. තව ද විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීමේ ක්‍රියාදාමයට මුල පුරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ද ‘යහපත් ප්‍ර‍ගති‘ මට්ටමක පවතී. කැබිනට් මණ්ඩලය 25 කට සීමා වන පරිද්දෙන් නව ඇමතිවරුන්/වරියන් පත් කිරීම, දූෂණ විමර්ශනය සදහා වූ විශේෂ කොමිසම් පත් කිරීම, නව මැතිවරණ ක්‍ර‍මයක් සකස් කිරීම, තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම යනාදී පොරොන්දු ඉටුකිරීම ඇත්තේ ‘සුළු ප්‍ර‍ගති‘ මට්ටමක ය.

මේ අතර පාර්ලිමේන්තුව සදහා ස්ථාවර නියෝග සංශෝධනයක් ගෙන ඒම, මහජන නියෝජිතයින් සදහා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දීම, ජාතික විගණන පනත සම්මත කිරීම යනාදී පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් ‘කිසිදු ප්‍ර‍ගතියක් පෙන්වා නැති‘ බව පෙනේ.

අවසාන වශයෙන්, ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර අවසාන වන අද දින (ජනවාරි 8) ජනාධිපතිවරණ පොරොන්දු පිළිබද මතක නැවත යාවත්කාලීන කරගැනීම සහ තවදුරටත් එම වැදගත් හා ඵලදායී පොරොන්දු පසු හඹායාම ඉතා ම වැදගත් බව සිහිපත් කළ හැක.