over 8 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

2015 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන වෙනස්කම් මාලාව හා සමගාමීව නැගී ආ දේශපාලනික කථිකාව නව්‍ය යෝජනා හා අදහස් ගණනාවක් සමාජගත කරන්නට පසුබිම සකස් කළේ ය. දේශපාලනය හා බැඳී පවතින ප්‍ර‍චණ්ඩත්වය සහ අල්ලස හා දූෂණය දරුණු සමාජ ව්‍යසනයක් ලෙස දුටු බොහෝ පිරිස් නව ව්‍යවස්ථා සංශෝධන සමග වඩා යහපත් දේශපාලනික සමාජයක් කරා ගමන් කළ යුතු බව යෝජනා කළ හ. එම කථිකාව හා නැගී ආ යෝජනා සමාජ දේහය වෙත යොමු කරන්නට තැත් දැරූ අවස්ථාව වූයේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයයි.

පසුගිය පාර්ලිමේන්තුව තුළ යෝජිත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය යෝජනා කළ නව මැතිවරණ ක්‍ර‍මය දෝෂ සහගත බවත්, එමගින් නිර්මාණය කරන්නට නියමිත පසුබිම කුඩා පක්ෂ ආරක්ෂා නොකරන්නක් බවත් වෙරිටේ පර්යේෂණ ආයතනය, සිය මන්ත්‍රී.එල්කේ වෙබ් අඩවිය මගින් සහ ජාතික පුවත්පත් මගින් පෙන්වා දුන්නේ මෙයට මාස දහයකට පමණ පෙර ය. මෙම ලිපිය එම පසුබිම තුළින් යෝජිත නව මැතිවරණ ක්‍ර‍මය පිළිබදවත් ඒ හා බැදී එන සමාජ කථිකාවේ හමුවන දුරවබෝධයන් පිළිබඳවත් සාකච්ඡාවකි. එමතුද නොව, මෙම ලිපිය වඩා සාධනීය මැතිවරණ ක්‍ර‍මයක් හා යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම පිළිබඳව සිදු කෙරෙන යෝජනා එකතුවකි.

 

මැතිවරණ දූෂණ හා ප්‍ර‍චණ්ඩත්වය නසන්නට නම්...

මැතිවරණ සම්බන්ධ වටපිටාවෙහි හමුවන දූෂණ හා අක්‍ර‍මිකතාවලින් සහ ප්‍ර‍චණ්ඩත්වයෙන් අප දේශපාලන සමාජය තවමත් ගැලවී නැත. ඡන්ද අපේක්ෂකයින්ගෙන් සැළකිය යුතු පිරිසක් සිය ඡන්ද ව්‍යාපාර සමය තුළ දූෂිත ක්‍ර‍ම උපයෝගී කරගෙන ඡන්ද රැස්කළ බවත්, ප්‍ර‍චණ්ඩත්වය භාවිත කළ බවත් සෑම මැතිවරණයකින් පසුවම අසන්නට ලැබේ. පූර්ව හා පශ්චාත් මැතිවරණ භීම කාලසීමාවන්හි පහරදීම්, බියවැද්දීම් මතු නොව මනුෂ්‍ය ඝාතන සිදු කිරීම වුව දැකිය හැකි ය.

නව සංශෝධන පිළිබඳ විශ්වාසය පළ කරන බොහෝ පාර්ශවයන් හා සිවිල් පුරවැසියන් දැඩිව විශ්වාස කරන බව පෙනෙන්නේ පවතින බිහිසුණු ප්‍ර‍චණ්ඩත්වය හා සබැඳි දේශපාලන සංස්කෘතියේ අවසානය, මැතිවරණ ක්‍ර‍මය වෙනස් කිරීම මගින් මුණගැසෙනු ඇති බවයි. එහෙත් එය සිදුවන ස්වරූපය පිළිබඳ අදහසක් මේ කවර කණ්ඩායමක් හෝ විග්‍ර‍හ කොට නොදක්වයි. සැබවින්ම මැතිවරණ ප්‍ර‍චණ්ඩ ක්‍ර‍ියා හා දූෂණ වැළැක්වීම ක්‍ර‍ම වෙනසක් තුළින් පමණක් සිදු නොවන්නකි. ඒ සදහා අවශ්‍ය ක්‍රියාකාරී ස්වාධීන මැතිවරණ කොමිසමක් හා වඩා නිවැරදි ලෙස ක්‍රියාත්මක වන පොලිස් සේවයකි. ඡන්ද භාවිතය සබැඳි පුරවැසියාගේ මූලික අයිතිය වෙනුවෙන් සෘජුව පෙනී සිටින ආයතනික රාමුවක් සැකසීම මැතිවරණ හා බැඳුණු ප්‍ර‍චණ්ඩත්වය හා දූෂණය පිටුදැකිය හැකි සාර්ථකම පියවරකි. එය මැතිවරණ ක්‍ර‍මය, ආසන ක්‍ර‍මයක් ද, නැතිනම් සමානුපාතික හෝ මිශ්‍ර‍ ක්‍ර‍මයක් ද යන්න මත පදනම්ව පමණක් විසදාලිය හැකි කටයුත්තක් නොවේ. කුමන ක්‍ර‍මයක් භාවිතයේ පැවතිය ද නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවන අවකාශයක් තුළ බලය ලබා ගැනීම සදහා ඕනෑම අපේක්ෂකයෙකුට ප්‍ර‍චණ්ඩත්වය කැඳවීම අසීරු නොවන හෙයිනි.

මැතිවරණ ක්‍ර‍මය පිළිබඳ ක්‍රියාකාරීව සාකච්ඡා කරන පුරවැසි සමාජය මැතිවරණ පැවැත්වීම සම්බන්ධව වන නීති වෙත සිය අවධානය යොමන්නේ අවම තත්වයකිනි. ශ්‍රී ලංකාවේ දැනට පවතින මැතිවරණ නීති රීති, පවතින මැතිවරණාශ්‍රිත දූෂණය පිටු දැකීමට ප්‍ර‍මාණවත් නොවන අතර ජාත්‍යන්තරය හා සැසඳීමේදී අප සිටින්නේ පියවර ගණනාවක් පිටුපසිනි. උදාහරණ ලෙස, ඡන්දදායකයා වෙත අල්ලස් ලබා දී ඡන්ද ලබා ගැනීම වැළැක්වීමට නීති පනවා ඇතත් ඡන්ද ව්‍යාපාරයේ දී අපේක්ෂකයින් විසින් සිය ප්‍ර‍චාරණය සදහා ‘කළු සල්ලි‘ භාවිතා කිරීම වැළැක්වීමට නීති පනවා නැත. සැබවින්ම ඡන්ද ප්‍ර‍චාරණයේදී අපේක්ෂකයින් සිය පෝස්ටර සැකසීමේ සිට රූපවාහිනී ප්‍ර‍චාරක දැන්වීම් සහ නව-මාධ්‍ය ප්‍ර‍චාරක අඩවි සැකසීම දක්වා සිදුකරන අධික මුදල් වැය කිරීම් සදහා මුදල් ලැබී ඇත්තේ කුමන ආකාරයකින් ද යන්න පිළි‍බඳ පුරවැසි සමාජය දැනුවත් කෙරෙන නීති සම්පාදනය වීම (Campaign Finance Laws) අත්‍යාවශ්‍ය ය. පවතින නීතිය ක්‍රියාවට නැංවීම අභිමුව පෝස්ටර ඇලවීම අවප්‍ර‍මාණ වෙද්දී ඒ හා සමගාමීව නැගෙන, වියදම් අධික රූපවාහිනී හා නව මාධ්‍ය ප්‍ර‍චාරණ විධි ක්‍ර‍ම ඉතා ඉහළ අංකයකින් මුණගැසීම දැන් දක්නට ලැබෙන හෙයිනි.

 

වඩා යහපත් මහජන නියෝජනය පිළිබද කතාබහ

ඉහත සාකච්ඡා කළ පරිදි දූෂණය හා ප්‍ර‍චණ්ඩත්වය පිටු දැකීම සදහා නීති සම්පාදනය කිරීම හා ඒ නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන යාන්ත්‍ර‍ණය යහපත් දේශපාලන සමාජයක් නිර්මාණය කරනු පිණිස අත්‍යාවශ්‍ය වුවද වඩා යහපත් මහජන නියෝජිතායතනයක් බවට පාර්ලිමේන්තුව පත් කිරීම සඳහා එමගින් සෘජු දායකත්වයක් ලැබෙන්නේ නැත. රට තුළ හඳුනාගත හැකි වාර්ගික, සාමයික ඇතුළු වෙනස්කම් සහිත බහුවිධ සමාජ කොටස් නිසි ලෙස පාර්ලිමේන්තුව තුළ නියෝජනය වනු පිණිසත්, එක් එක් කුඩා හා කුඩා නොවන සමාජ පද්ධතීන්හි අවශ්‍යතා නියෝජනය කෙරෙන හඬවලට පාර්ලිමේන්තුව තුළ අවකාශය ලැබීම පිණිසත් අප රටට ගැලපෙන ප්‍ර‍ජාතන්ත්‍රීය වූ නියෝජන ක්‍ර‍මයක් හඳුනාගැනීම අත්‍යාවශ්‍ය ය.

පසුගිය වසර කිහිපය තුළ නැගී ආ සමාජ කථිකාව මේ පිළිබඳ අවශ්‍යතාව මහජන අවකාශය වෙත මුදා හළ අතර පසුගිය ජනවාරියේ බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනය තුළ ද මේ පිළිබද පැහැදිලි සඳහනක් දක්නට ලැබිණ. (‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්‘ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනය - 15 පිට බලන්න.) දැනට පාර්ලිමේන්තු සංයුතිය තුළ දක්නට ඇති සමානුපාතික නියෝජනය වෙනස් නොකරමින් කේවල හා සමානුපාතික මිශ්‍ර‍ ක්‍ර‍මයක් කරා අවතීර්ණ වීමට අදහස් කරන බව ජනපතිවරයා එහිදී ප්‍ර‍කාශ කර ඇත. සෑම මැතිවරණ කොට්ඨාශයකටම අනිවාර්යයෙන්ම මහජන නියෝජිතයකු ලබා දෙන බවද එහි සදහන් ය.

මිශ්‍ර‍ සමානුපාතික ක්‍ර‍මයක් පිළිබ ඒ හා බැදෙන කථිකාව හා සමගාමීව වඩා උචිත වන්නේ කේවල ක්‍රමයක් ය යන මතවාදයද සමාජ කථිකාව තුළට පැමිණ ඇත. 1977 ව්‍යවස්ථාවට පෙරාතුව හමුවුණු පරිදි සිය කොට්ඨාශයේ නියෝජිතයා පාර්ලිමේන්තුව වෙත යැවීම තුළින් මනාප පොරය සදහා වන තියුණු තරගයත්, ඡන්ද ව්‍යාපාරය සදහා සිදු කෙරෙන විශාල මුදල් නාස්තියත් මග හැරෙන්නේ ය යන්න මෙම මතය දරන්නන් පෙරට ගෙනෙන ප්‍ර‍මුඛ තර්කයයි.

එහෙත් අප වටහාගත යුත්තේ පාර්ලිමේන්තු නියෝජනය තුළ හැකි උපරිම වශයෙන් සමස්ථ ජනතාව නියෝජනය කිරීමට යත්න දැරීම වඩා ප්‍ර‍ජාතන්ත්‍රීය කාර්යය වන බවයි. ඒ හා සමගම කේවල ක්‍රමයට සමීප මැතිවරණ ක්‍රමයක් සොයා යෑම අතීතය වෙත යළි ගමන් කිරීමක් වනු ඇති බවයි. එමගින් සිදුවිය හැකි මහජන නියෝජනය නිසි ලෙස සිදු නොවන අවස්ථා පිළිබ කදිම උදාහරණයක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයෙන්ම ගෙනහැර දැක්විය හැක.

කේවල ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් හමුවේ 1970 වර්ෂයේදී බලයට පත්වන සමගි පෙරමුණු රජය 1972 ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කරමින් එම වකවානුවේ මෙරට සමාජ දේශපාලන දේහය තුළ සුවිශේෂ වෙනස්කම් ගණනාවක් ඇති කළේ ය. එසේ වුවත් 1970 දී රටේ ආසන 91ක් දිනා බලය හිමිකරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගෙන තිබුණු ඡන්ද ප්‍රතිශතය 36.86%ක් පමණි. ආසන 17ක් පමණක් දිනා සිටි එක්සත් ජාතික පක්ෂය සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 37. 91%කට අයිතිය පෙන්වා තිබිණ. ඒ අනුව රටේ ව්‍යවස්ථා වෙනස සිදු කිරීම සදහා දායකත්වයක් ලබා දීමට වැඩි මහජන දායකත්වයක් තිබුණු එක්සත් ජාතික පක්ෂයට වරම් ලැබුණේ නැත. කේවල ක්‍ර‍මය මත පදනම් වූ මහජන නියෝජිත පාර්ලිමේන්තුවක් රටේ අනාගත ව්‍යවස්ථාව සම්පාදනය කළේ, එපරිද්දෙන්, අඩු මහජන නියෝජනයක් පදනම් වූ කණ්ඩායමක අවශ්‍යතා පෙරමුණට ගනිමිනි.

 

නිසි පිළිතුර මිශ්‍ර‍ සාමාජික සමානුපාත (MMP) ක්‍ර‍මයයි!

ශ්‍රී ලංකාව විශ්වීය අත්දැකීම් විමසා බලමින් කටයුතු කරන්නේ නම් වහාම පියවර ගත යුත්තේ මිශ්‍ර‍ සාමාජික සමානුපාත (MMP) ක්‍ර‍මයකින් සමන්විත ව්‍යවස්ථා සංශෝධනයක් රැගෙන ඒමට ය. මෑතකාලීනව සිය පාර්ලිමේන්තු නියෝජන ක්‍ර‍මවිධීන් සංශෝධනය කළ සහ වඩා ප්‍ර‍ජාතන්ත්‍රීය ස්වරූප සොයාගිය රාජ්‍ය ගණනාවක් මෙම ක්‍ර‍මය හඳුන්වාදීම මගින් වඩා යහපත් මහජන නියෝජිතායතන බවට සිය පාර්ලිමේන්තු පත් කොටගෙන ඇත. ජර්මනිය, නවසීලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, බොලිවියාව සහ ලෙසෝතෝ රාජ්‍යය ඊට උදාහරණ වේ. එයින් වියුක්ත ක්‍ර‍මයක් සිය දේශපාලන දේහය වෙත හඳුන්වාදීමට කටයුතු කර ඇත්තේ ජිබුටි රාජ්‍යය පමණි.

 

මිශ්‍ර‍ සාමාජික සමානුපාත ක්‍ර‍මය තුළ දී ඡන්දදායකයාට සිය ඡන්ද පත්‍රිකාව තුළ ඡන්ද දෙකක් සටහන් කිරීමට අවසර ලැබේ. සිය කැමැත්ත අනුව කොට්ඨාශය සඳහා මහජන නියෝජිතයෙකු පත්කිරීමට එක් ඡන්දයකි. දෙවැනි ඡන්දය ඔහු හෝ ඇය කැමති පක්ෂයක් සඳහා ලබා දිය හැකි අතර සිය නියෝජිතයා අයත් පක්ෂයටම ඡන්දය ප්‍ර‍කාශ කිරීම එහිදී අවශ්‍ය නොවේ. (රූප සටහනේ ඇති ආදර්ශ පත්‍රිකාව බලන්න.)

රූප සටහන: ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් (ජර්මානු ආකෘතියකි.)

මෙමගින් ඡන්දදායකයාට සිය කොට්ඨාශය සඳහා සුදුසුම අපේක්ෂකයා පාර්ලිමේන්තුව වෙත පත් කර යැවීමට බලය ලැබෙන අතරම (වම් පස ඇති කොටු තුළ ඡන්දය යොදා තේරීම මගින්) පුද්ගලයකු තේරීමෙන් ඔබ්බට ගොස් පළාත හෝ රට දෙස බලා සුදුසු පක්ෂයක් වෙත වෙනම ඡන්දයක් ලබා දීමටද (දකුණු පස ඇති කොටු තුළ ඡන්දය සළකුණු කිරීමෙන්) ඉඩකඩ ලැබේ. අවසන් නියෝජන සංයුතිය පාර්ලිමේන්තුව තුළ සැකසෙන්නේ සෘජු මහජන කැමැත්ත හිමිකරගනිමින් පත්වී ආ නියෝජිතයින් හා පක්ෂ වෙත ලබා දුන් ඡන්ද පදනම්ව ප්‍ර‍තිශතාත්මකව ඒ ඒ පක්ෂ හා කණ්ඩායම්වලින් පැමිණෙන නියෝජිතයින් එක් වීමෙනි. මෙමගින් සෘජු නියෝජනය මෙන්ම එක් එක් පොදු අපේක්ෂාවන් නියෝජනය කරන සමාජ පද්ධති නියෝජනය යන දෙයාකාරයම පාර්ලිමේන්තුව තුළ හමුවනු ඇත. අවසාන වශයෙන් මුණගැසෙන්නේ වඩා යහපත් හා සාධනීය ලෙස මහජන නියෝජනය පිළිඹිබු කෙරෙන පාර්ලිමේන්තුවකි.

මෙය අනිත් අතින් දැන් පවතින ඡන්ද ප්‍ර‍කාශ ක්‍ර‍මයට වඩා සරල වූවකි. එකම ඡන්ද පත්‍රිකාව තුළ සිය නියෝජිතයා සහ පක්ෂය සඳහා වෙන්ව ඡන්ද දෙකක් සළකුණු කිරීමේ සරල ක්‍රියාකාරීත්වයකට ඡන්දදායකයාට පිවිසිය හැකි ය. සංකීර්ණ ඡන්ද ප්‍ර‍කාශ කිරීම් රටා හේතුවෙන් මගහැරී යාමට ඉඩ ඇති ඡන්ද ද නියෝජිතයින් තේරීම සදහා යොදාගැනීමට ඉන් අවස්ථාවක් හිමිවේ.

 

මහජනතාවට විශ්වාසය තැබිය හැකි පාර්ලිමේන්තුවක්!

අප පිළිතුරු සොයා ගත යුත්තේ වඩා විශ්වසනීය පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගන්නේ කෙසේ ද යන්නට ය. මිශ්‍ර‍ සාමාජික සමානුපාත ක්‍ර‍මය එයට කදිම ප්‍රවේශයකි. සෘජුවම ප්‍රදේශය නියෝජනය කරන නියෝජිතයාත් පොදු අරමුණුවලින් සුසැදි පක්ෂ හා කණ්ඩායම්වලින් සමන්විත කලාපවලින් පැමිණෙන නියෝජිතයාත් ඉහළ විශ්වාසයක් සුරකින පාර්ලිමේන්තුවක් සාදා දෙනු ඇත. පාර්ලිමේන්තු සාමාජිකයින් වඩා සදාචාර සම්පන්නව කටයුතු කරනු පිණිස, යහපාලනයේ දින සියය තුළ ද යෝජනා කළ නමුත් තවමත් භාවිතයට නොපැමිණි, ආචාරධර්ම පද්ධතිය හඳුන්වා දීම එම යහ-පාර්ලිමේන්තුව වඩාත් විශ්වසනීය ආයතනයක් බවට පත් කිරීමට හේතු වනු ඇත.

 

 

 

-වෙරිටේ රිසර්ච්-