about 8 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

උත්තරීතර පාර්ලිමේන්තුවේ නිහඞ බලවතා

 සෙංකෝලය

සෙංකෝලය, බොහෝ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පාර්ලිමේන්තුවේ බලය විදහා පාන්නාවුත්, පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ බලය සංකේතවත් කරන්නාවූත් භෞතික සංකේතය වේ.

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව, යම් පාර්ලිමේන්තු රැස්වීමක් වලංගු වන්නේ අදාළ අවස්ථාවේදී සෙංකෝලය පාර්ලිමේන්තුව තුළ ඇත්නම් පමණි. මෙම කෙටි ලිපිය  එදා මෙදා තුර  පාර්ලිමේන්තු බලයට සංකේතය වූ සෙංකෝලය පිළිබඳව විමසා බැලේ.

ඉතිහාසයෙන් බිඳක්

සෙංකෝලයේ ඉතිහාසය  මධ්‍යතන යුගයේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයතෙක් දිවයන්නකි. එවක  බ්‍රිතාන්‍ය රජුගේ ආරක්ෂක භටයන් සෙංකෝලය භාවිතා කළේ ආරක්ෂක මෙවලමක් වශයෙනි. රජුගේ පණිවුඩ රැගෙන යාම මෙන්ම රජු ඉදිරියේ පෙනීසිටිය යුතු පුද්ගලයන්ට බව දැනුම්දීම ඔවුන්ගේ රාජකාරිය වූ අතර ඔවුන්ට ඕනෑම පුද්ගලයෙක් වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමටද බලය හිමිව තිබුණි. අනුව සෙංකෝලය රැගෙන එන ආරක්ෂක භටයෙක් රජුගේ පණිවුඩකරුවෙකු ලෙස සැලකුණු අතර එහිදී සෙංකෝලය රජුගේ  පරමාධිපත්‍ය  බලයේ සංකේතය වශයෙන් පිළිගැනිණි. 16 වන ශතවර්ෂය වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය බලය විදහාලන සංකේතය බවට පත්වූ සෙංකෝලයේ , වර්තමාන භාවිතාව ලෝකයේ රටවල් ගණනාවකම ව්‍යවස්ථාදායකයන් දක්වා විකාශනය වී ඇත.. අනුව ඉතා අගනා දැවයෙන් සහ ලෝහයන්ගෙන් නිර්මිත සෙංකෝලය රටවලට අයත් ජාතික සංකේතවලින් හැඩ ගන්වා තිබීම පොදු ලක්ෂණයකි.

ශ්‍රී ලාංකේය  පාර්ලිමේන්තුව තුළ සෙංකෝලය

මෙරට පාර්ලිමේන්තුවේ අද දක්නට ලැබෙන සෙංකෝලය වසර 1949 ජනවාරි 11 වන දින බ්‍රිතාන්‍ය මහජන මන්ත්රී මණ්ඩලයේ ප්‍රදානයක් ලෙස හිමි වූවකි. එස්.පී.චාර්ල්ස් මහතාගේ සැලසුමකට අනුව ඉතා ශක්තිමත් කලුවර දැවයෙන් නිර්මාණය කොට ඇති කැරට් 18 රන්, නිල් මැණික් සහ රිදී යන අමුද්‍රව්‍යවලින් නිර්මිත මෙරට සෙංකෝලය හෙළ කලාවන්ගේ ප්‍රතිමූර්තියකි. එය බරින් රාත්තල් 28ක් වන දිගින් අගල් 48ක්වේ.

සෙංකෝලය හා බැදුණු කාර්යය පටිපාටිය

මෙරට පාර්ලිමේන්තු රැස්වීමක් වලංගු වීමට නම් සෙංකෝලය පාර්ලිමේන්තුව තුළ පැවතීම අනිවාර්ය වේ. අනුව සෑම පාර්ලිමේන්තු සභා වාරයකම ආරම්භයේදී සහ අවසානයේදී වේත්‍රධාරි විසින් සෙංකෝලය සභාගැබ තුළට ඉතා අභිමානවත් ලෙස රැගෙන ඒම මෙන්ම පිටතට රැගෙන යාමද සිදු කෙරේ.. පාර්ලිමේන්තුව රැස්වීම් අවස්ථාවේ පවතින විට මහ ලේකම්වරයාගේ මේසයට පහලින් ඇති කන්තුවක (රඳවනයක) එය තැන්පත් කරන අතර පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවේ පවතින විට එය තැන්පත් කරනු ලබන්නේ ඊට පහළින් ඇති කන්තුවක් මතය. සෑම මහ මැතිවරණයක් අවසානයේම නව පාර්ලිමේන්තුවක් පත් වූ විට නව කතානායකවරයෙක් තෝරා පත් කර ගන්නා තුරු සෙංකෝලය පහළ කන්තුවේ තැන්පත් කරන අතර නව කතානායකවරයා මුලසුනට පැමිණීමත් සමග එය ඉහළ කන්තුවේ තැන්පත් කිරීම සිදුවේ.

 

මේ අනුව පෙනීයන්නේ එදා මධ්‍යතන යුගයේ යුරෝපය තුළ රජුගේ පරමාධිපත්‍යයේ පිළිබිඹුවක් වූ සෙංකෝලය නව පාර්ලිමේන්තු සම්ප්‍රදායේව්‍යවස්ථාදායකයේ මෙන්ම එහි කතානායකවරයාගේද බලය විද්‍යමාන කරන සංකේතයක්  ලෙස අවිච්ඡින්නව පවතින බවය