about 7 years ago by Manthri.lk - Research Team under in ஆய்வறிக்கை

මහජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරමින් මැතිවරණයෙන් බලයට පත්වන, මන්ත්‍රීවරුන් මුළු දෙන ආයතනය පාර්ලිමේන්තුවයි. එහි එදිනෙදා වැඩකටයුතු නිරූපණය කරනුයේ ර‍ටෙහි තත්කාලීන දේශපාලන වාතාවරණය යි.‍ මෙකී සමස්ත පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය‍ පිළිබඳ තොරතුරු අන්තර්ගතකොට සකසනු ලබන පාර්ලිමේන්තු නිල වාර්තාව හැන්සාඩ් වාර්තාව ‍ලෙස හඳුන්වනු ලබයි. මෙම ලිපිය, පාර්ලිමේන්තුවෙහි ක්‍රියාකාරීත්වය‍ එලෙසින් ම රට හමුවේ ගෙනහැර දක්වන මූලික ම මූලාශ්‍ර‍ය වන හැන්සාඩ් වාර්තා‍වෙහි කාර්යභාරය විමසා බලන්නකි.

අතීතය ‍දෙස හැරී බැලීමක්

17 වන සියවස‍ තෙක් බ්‍රිතාන්‍යය තුළ පාර්ලිමේන්තු විවාදවල අඩංගු කරුණු ‍හෙළිදරව් කරගත නොහැකි තොරතුරු ග‍ණ‍‍යෙහි ලා සැලකුණිපුවත්පත් කලාවේදීන් දිගින් දිගටම පාර්ලිමේන්තු විවාදවල කොටස් අනවසරයෙන් පළකිරීමත්, ඔවුන්ට ඒ වෙනුවෙන් දඩුවම් නොකළ යුතු බවට ජනතයක් ගොඩනැගීමත් සමග 18 වන සියවස අග  වන විට ඒ සඳහා පැවති බාධාවන් ඉවත් විය. පසු කාලීනව එම වාර්තා පාර්ලිමේන්තුව විසින් ම පළ කිරීම ආරම්භ වූ අතර වර්තමානයේ පාර්ලිමේන්තු ක්‍ර‍මය ක්‍රියාත්මක වන බොහෝ රටවල් හැන්සාඩ් වාර්තා නිකුත් කරනු ලබයි. ‍මෙයට හැන්සාඩ් යන නාමය ආරූඪ වූයේ මුල් කාලීනව එය මුද්‍ර‍ණය කර ‍බෙදා හැරීමට මූලික වූ තොමස් කර්සන් හැන්සාඩ් (Thomas Curson Hansard) අනුස්මරණය වනු පිණිස ය.

 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වාර්තාකරණය

වසර 1870 සිට‍ මෙරට හැන්සාඩ් වාර්තා ඵල ‍කෙර‍න අතර පාර්ලිමේන්තුවේ ඉදිරිපත්වන සියලුම ප්‍ර‍ශ්න, නියෝග, විවාද සහ ප්‍ර‍කාශ ඊට අන්තර්ගත වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පවත්වන සෑම කතාවක්‌ම එය පවත්වන ලද භාෂාවෙන් ම ඵල ක‍ළ යුතු බව ස්ථාවර නියෝග 12 මගින් දක්වා තිබේ. හැන්සාඩ් වාර්තාව සිංහල, ද‍මිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්ව‍යෙහි සම්මිශ්‍ර‍ණයක් ලෙස මුද්‍ර‍ණය කෙරෙනුයේ ඒ අනුව ය. 

  • මන්ත්‍රී වරයෙකු පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේ දී එම ප්‍ර‍කාශ ලඝු ලේඛනගත කර ගැනීම,
  • ඉදිරිපත් කරන ලද භාෂාවෙන් ම එය සංස්කරණය කිරීම,
  • මුද්‍රණය පිණිස යොමු කරන අතර ම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ඵල කිරීම,
  • අවශ්‍ය නිවැරදිකිරීම් සමඟ අවසාන වශයෙන් පාර්ලිමේන්තුව පැවැත් වූ දින අනුපිළිවෙලින් පුස්තකාල‍ෙයහි තැන්පත් කිරීම

 

හැන්සාඩ් වාර්තාකරණයට අදාළ මූලික පියවර වේ.

 එක් එක් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකාරීත්වය දක්වන හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොතරම් ඵලදායී ලෙස තම පාර්ලිමේන්තු නිල කාලය භාවිත කර තිබේ ද  යන්න මහජනතාවට අවබෝධ කර ගැනීමට හැන්සාඩ් වාර්තාව අපූරු මෙවලමකි. තවද, සුවිශේෂී අවස්ථාවන්හී දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පෙර පාර්ලිමේන්තු ඉතිහාසය තුළින් ම කරුණු අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තුවට උපකාරී වන හ‍ෙයින් හැන්සාඩ් වාර්තාව අද වන විට පාර්ලිමේන්තුවේ නිසි ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ම මූලාශ්‍ර‍යක් බවට ද පත්ව තිබේ.

 ඒ අනුව පාර්ලිමේන්තු විවාද රහසිගතව පල කරන ලියවිල්ලක් වශයෙන් ආරම්භ වූ හැන්සාඩ් වාර්තාව අද වන විට, සමස්ත පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය මහජනතාවගේ මෙන් ම පාර්ලිමේන්තුවේත් ප්‍රයෝජනය පිණිස සටහන් කොට තබන මූලික ම මූලාශ්‍ර‍ය බවට පත් ව තිබේ.